බැද්දේගම ලියු ලෙනාර්ඩ් වුල්ෆ් අගයයි


ඔක්ස්ෆර්ඩ් සරසවියේ වොල්ෆ්සන් විද්‍යාපීටය ලෙනාර්ඩ් වූල්ෆ් විසින් රචිත "බැද්දෙගම" නවකතාව පිළිබඳව සවිස්තරව සාකච්ඡා කෙරන එක් දින වැඩමුළුවක් සුදානම් කර ඇත.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවේ රජයේ සේවකයෙකු ලෙස රාජකාරිය කළ ලෙනාර්ඩ් වූල්ෆ් ලොව පුරා වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව ඉන්නේ "බැද්දෙගම" නවකතාවේ රචකයා ලෙසිනි. 

ඔහු 1904 ඔක්තෝබර් මස සිට සිට 1911 මයි මස දක්වා ශ්‍රී ලංකාවේ ජීවත්විය. ලන්ඩන්  නුවර සුප්‍රකට බ්ලුම්ස්බරි උද්‍යානයේ ඔහුගේ නමින් වෘක්ෂයක්ද රෝපණය කර තිබේ.

මෙම සෙනසුරාදා ඔක්ස්ෆර්ඩ් සරසවියේදී පැවැත්වෙන වැඩ මුළුවේදී "ලෙනාර්ඩ් වුල්ෆ් ශ්‍රී ලංකාවේ ගතකළ කාලවකවානුවේදී ඉංග්‍රීසිඅධිරාජ්‍යය  කෙරෙහි දක්වනලද විප්ලවකාරී ආකල්පය මෙන්ම පසුකලෙක ඔහු විසින් සම්පාදනය කළ කරුණු , කෘති සමස්තය තුල ඉදිරිපත්කර ඇති දේශපාලනමය අර්ථකථන මෙන්ම රැඩිකල්වාදී මති මතාන්තර සමඟ බැද්දේගම කෘතියෙහි ඇති සහ සම්බන්ධතාවය" සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙයි.

එමෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පැවතී අවදියේ සහ ඉන් තදාසන්න කාලවකවානුවේ රචිත සමහර ඉංග්‍රීසි කෘතීවල දැක්වෙන සන්දර්භ විෂයන් සඳහා ලෙනාර්ඩ් වුල්ෆ්ගේ රචනා කෙතරම් බලපෑමක් සිදුකර තිබේද යන්න පිළිබඳවද මෙහිදී පුළුල්ව සාකච්ඡාකෙරෙනු ඇත. මේ සඳහා වර්ජිනියා වුල්ෆ්, ඊ.එම්.ෆොස්ටර්, ලිට්න් ස්ට්‍රචීවැන්නවුන්ගේ රචනා ආදර්ශ ලෙස යොදාගනු ඇත. වර්ජිනියා වූල්ෆ් ලෙනාර්ඩ් වුල්ෆ්ගේ භාර්යාවයි.

මෙම වැඩමුළුව සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ මෙන්ම අනෙකුත් විද්‍යායතනයන්හි  විද්වතුන් බොහෝදෙනකු සහභාගීවීමටද නියමිතය.