( තිළිණි ද සිල්වා )
දඹදිව වන්දනාවේ නිරතව සිටියදී ලාංකික බැතිමතුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් තානාපති කාර්යාල මට්ටමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් කාර්යාලය හරහා ඒ පිළිබදව තොරතුරු ලබාගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
දඹදිව වන්දනා කිරීමේ අරමුණ ඇතිව, පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත් වූ වන්දනා නඩයක සිටි තිදෙනා මියගොස් ඇත්තේ අධික සීතල හේතුවෙන් බවට තොරතුරු ලැබුණද එය නිශ්චිතව ඔවුන්ගේ මරණයට හේතුවද යන්න ගැන දැන ගැනීම සඳහා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා කරුණු ලබා ගැනීමට අපේක්ෂා කරන බවද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.
මියගොස් ඇත්තේ මීට සති දෙකකට පෙර දඹදිව වන්දනාවේ ගිය එකම කණ්ඩායමක තිදෙනකු බවත් ඒ අතර කාන්තාවන් දෙදෙනකු ද වන බවත් කියති. මියගිය ශ්‍රීලාංකිකයින් තිදෙනා ඇතුළු මෙම ලාංකික වන්දනා නඩය කෑගල්ල ප්‍රදේශයේ වන්දනා චාරිකා ආයතනයක් මාර්ගයෙන් ඉකුත් 13 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.
කුරුණෑගල - දඹරගොල්ල ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක් පසුගිය 20 වනදා ජීවිතක්ෂයට පත්වූවාය. එම වන්දනා නඩයේම සිටි කුරුණෑගල ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් පසුගිය 22 වැනිදා මියගොස් ඇති අතර එදිනම මාතර - වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.

