බැංකු දත්ත බලන්න රටින් ගෙන්වයි


වත්කම් හෙළි නොකළැයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව පවරා ඇති නඩුවේ ජාතික සංවර්ධන බැංකු පරිගණක දත්ත පිරික්සීමට විදේශ විශේෂඥයන් ඇතුළු කණ්ඩායමක් යොදවා ගන්නා බව විත්තියේ නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.

ඒ සඳහා ඔහු කල් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල නොමනා බලපෑම් කර නඩුව විත්තියේ නඩුව කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා හෙයින් විත්තිය විදේශ පරිගණක විශේෂඥයන් ගෙන්වන බව කී ලද්දුවහෙට්ටි මහතා හිටපු අගවිනිසුරුවරියගේ බැංකු ගිණුම්  රජයේ මාධ්‍යයට හා මහජනයාට හෙළි කළැයි ජාතික සංවර්ධන බැංකුවට ද දොස් කීවේය.

බැංකු විධායකයකු වන රසල් දි මෙල් ඇගේ ගිණුම් තුනක විස්තර රජයේ මාධ්‍යයට හා වෙබ් අඩවිවලට ඉදිරිපත් කර ඇත්තේ බැංකු ආචාර ධර්ම උල්ලංඝනය කිරීමෙන් බව ද නීතීඥවරයා පැවසීය.