
(ඩයනා උදයංගනී)
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කළ අය මෙන්ම පසුගිය දිනවල එහි ගිය හා එහි සේවය කරන්නන් ආශ්‍රය කළ අය වේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට තම තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දිය යුතු බව කී අධ්‍යක්‍ෂවරයා එවිට ඔවුන් විසින් අදාළ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට හෝ පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමුකළ යුතුද යන්න තීරණය කරනු ඇතැයි සඳහන් කළේය.
මීට පෙර විශාල කොවිඞ් පොකුරු වාර්තා වූ වැලිසර නාවික හමුදා කඳවුර හා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සංවෘත පරිශ්‍රයන් වූ බැවින් ආසාදිතයින් සමාජගතවීම අවම වුවත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන පිරිස තම නිවෙස්වලට මෙන්ම බාහිර සමාජය තුළට පැමිණ ඇති නිසා රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.
මෙම රෝගීන් සියලු දෙනා බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිත එකම පොකුරක් ලෙස වාර්තා වන බැවින් වයිරසය සමාජගතවීමක් සිදුව නැතැයි කී විශේෂඥ වෛද්‍යවරයා වයිරසය සමාජ ගතවීමක් සිදුව ඇත්නම් තැන් තැන්වලින් රෝගීන් වාර්තා විය යුතු බව ද කීවේය.
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කෙසේ වෙතත් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කළ හා එහි සේවකයින් ඇසුරු කළ අය, දැනට ඇඳිරිනීතිය ක්‍රියාත්මක පොලිස් වසම්වල ජීවත් වන අය නිවෙස්වලටම වී සිටීම වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)

