බස් ටිකට් පතට නව තාක්ෂණය


පෞද්ගලික බස් රථ සේවයෙහි  ආසියාවේ ප්‍රථම වතාවට  ක්‍රියාත්මක වන මගී  පෙර ගෙවුම්  කාඩ්පත් ක්‍රමය බස්නාහිර පළාතේ  නිළ වශයෙන් හදුන්වාදීමේ උත්සවය අද (06) කොළඹ  පදනම් ආයතනයේදී  පැවැත්විණි.‘‘ටච් ට්‍රැවල් පාස්‘‘ ලෙස නම් කැර ඇති  මෙම කාඩ් පත  මගින් ජංගම දුරකථන සදහා  භාවිතා කරනු ලබන  පෙර ගෙවුම් සබඳතා  ලෙසම මගීන්ට තම ගිණුම රී ලොඩ් කර ගත හැකි අතර  බස් මගීන්ට සිදු වන  ඉතිරි මුදල් සම්බන්ධ ගැටළුව  සම්පුර්ණයෙන්ම විසදා ගත හැකය.

ඩයලොග්  ආසියාටා (පුද්) සමාගම ,ඇක්සස් ආයතනය  හා බස්නාහිර පළාත්  මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය හා එක්ව මෙම කාඩ් පත් ව්‍යාපෘතිය හදුන්වාදී   ඇති අතර  පෞද්ගලික බස් රථ හිමියන්ගේ  සංගමය මෙයට  පුර්ණ  සහයෝගය දක්වා ඇත.

 මාර්ග අංක 138 පිටකොටුව මහරගම  බස් මාර්ගයේ  අද (06) සිට  මෙම නියමු ව්‍යාපෘතිය අත්හදා බැලෙන අතර  ඉදිරියේදි  පුර්ණ බස්නාහිර පලාත තුලත් පසුව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

 බස් රථ හිමියන්ට ලැබිය යුතු මුදල් ගසා කෑමත් ,අනවශ්‍ය  පුද්ගලයින්ට කප්පම් ගෙවීමත් මෙම කාඩ් ක්‍රමය මගින් මග හැරීයන බව  මෙමගින් ශ්‍රී ලංකාව පුරා  සිදු වන රුපියල් කෝටි 12 ක් පමණ කප්පම් මුදල ඉතිරිකර ගැනීමට හැකි බව  පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ  සභාපති ගැමුණු විජේරත්න මහතා මෙහිදී පැවැසීය.

 පෙර ගෙවුම් කාඩ් පතෙහි  පළමු කාඩ් පත එම අවස්ථාවට එක් වු ආර්ථික සංවර්ධන අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතාට  ගැමුණු විජේරත්න මහතා පිරිනැමීය. මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ,නියෝජ්‍ය  අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඩයලොග් ආයතනයේ  ප්‍රධාන විධායක නිලධාරී  හාන්ස් විජේසුරිය,බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මණ්ඩල යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වුහ.