බස් - වෑන් ගැටී දෙකක් මරුට


(නිමල් ජයරත්න  සහ ගයාන් සූරිය ආරච්චි)

හබරන ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ අලි වංගුව ප්‍රදේශයේ 01 වෙනිදා පෙරවරු එකොළහට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් දෙදෙනකු මිය ගොස් තවත් තිස්පස් දෙනකු තුවාල ලබා හබරණ ප්‍රාදේශීය රෝහලට හා දඹුල්ලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හබරණ පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ,වෑන් රථයේ රියදුරුවන ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 32 වියැති දෙදරු පියකු හා බස් රථයේ ගමන් ගත් හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 66 වීයැති කාන්තාවක් බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන හබරණ පොලිසිය පවසයි.

ගාල්ල,හික්කඩුව ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් රැගෙන ත්‍රීකුණාමල ප්‍රදේශයට ගමන් කරමින් සිටි බස්රථයක්, කින්නියා ප්‍රදේශයේ පදිංචි අයකු විදේශගත වීමට කටුනායක බලා ධාවනය කරමින් තිබූ වෑන් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බව අනතුර පිලිබද පරීක්ෂණ සිදු කරන හබරණ පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුරෙන් කාන්තාවන් විසි දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් දහ තුන්දෙනෙකු තුවාල ලබා ඇති අතර,තුවාල ලැබූවන්ගෙන් හත් දෙනකු හබරණ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත්,සෙසු පිරිස දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාරය ලබන බව හබරණ පොලිසිය පවසයි.