
(පුෂ්පකුමාර ජයරත්න)
බසයක් එන තුරු බස් නැවතුම්පොළක රැඳී සිටි උහුමීය ඩී.එස්. සේනානායක මැදි විදුහලේ සිසුවියක ජීප් රථයක හැපීමෙන් සිදුවූ අනතුරකින් අද (20) පෙරවරුවේ මරණයට පත්ව ඇති බව වීරඹුගෙදර පොලීසිය පවසයි.
සේනානායක මැදි විදුහලේ එකොළහ වසරේ ඉගෙනුම ලබමින් සිටි අමෝද්‍යා සිතුමිණි රාජගුරු නමැති 17 හැවිරිදි සිසුවිය අනතුර සිදුවූ ස්ථානයේදීම මරණයට පත්ව ඇත.
ඇය උහුමීය පිදුරුවැල්ල රත්මලේ උයනේ පදිංචිව සිටි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවාය.
ඇය පෞද්ගලික පන්තියකට සහභාගි වීමට කුරුණෑගලට යාම සඳහා බසයක් එන තුරු බස් නැවතුමේ රැඳී සිටියදී මෙම අනතුරට ගොදුරුව ඇත.
රියැදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදු වන්නට ඇති බවට පොලීසිය සැක කරයි. අත්අඩංගුවට ගෙන සිටින සැකකාර රියැදුරා පිළියන්දල ගෝනමඩිත්ත ප්‍රදේශයේ අයෙකි.

