බසයක් මගීන් එක්ක දුම්රිය දැක දැකත් හරස් පාරෙන් දමලා


(රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වරකාව දුම්රිය ගේට්ටුව වසා තිබියදී කුඩා ඉඩකින් පෞද්ගලික බස් රථයක් අවදානම නොතකා ධාවනය කිරිම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරැ අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පැවසීය.

ගිනිගත්හේන ලක්ෂපාන ප්‍රදේශයේ සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය නාවලපිටිය වරකාව දුම්රිය ගේට්ටුව අසලට පැමිණෙන විටත් මහනුවර සිට නාවලපිටිය දක්වා මගී ප්‍රවාහන දුම්රියක් ධාවනය වීම නිසා ආරක්ෂිත ගේට්ටුව වසා තිබූ බවත් බස් රථයට ඉදිරියෙන් ත්‍රිරෝද රථ කිහිපයක් රේල් ගේට්ටුව විවෘත කරන තෙක් නතර කර තිබියදී පෞද්ගලික බස් රථයේ රියදුරා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් රේල් ගේට්ටුවේ තිබූ කුඩා ඉඩකින් බස් රථය ධාවනය කර ඇති බවත් පොලිසිය කීය.

එම දර්ශන අසල තිබූ වෙළදසැලක සවි කර තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ මුරකරු විසින් නාවලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි බව ද පොලිසිය කීය.