(ජේ.කේ.එල්. චාමින්ද)
බලපිටිය තැපල් කාර්යාලයේ සේවය කරන නිලධාරිණියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා සෞඛ්‍ය අංශවල උපදෙස් මත අද (09) තැපල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බැව් දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපැල්පති ටී.එල්.එම්.පී. මෙන්ඩිස් මහත්මිය සඳහන් කළාය.
මෙම නිලධාරිණියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු අද (09) දින මෙහි කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු සඳහා පී.සී.ආර් පරීක්ෂණ සිදුකරනු ලැබීය. පී.සී.ආර් පරීක්ෂණ ප්‍රථිපල එනතෙක් තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවරගත් බවද ඇය පැවසුවාය. තැපැල් කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකලද කාර්ය මණ්ඩලය තැපැල් කාර්යාලය තුළ සිට රාජකාරි කටයුතු සිදුකළ බවද නියෝජ්‍ය තැපැල්පතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.
කොරොනා වයිරසය ආසාදනය වු තැපල් නිලධාරිණියගේ සැමියාට ද මිට පෙර කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

