බරපතල අපරාධ ගැන සොයයි


බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධ පැමිණිලි 45 ක විමර්ශන කටයුතු ඒ සඳහා පත් කර තිබෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ආරම්භ කළ බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.

මෙම පරීක්ෂණ කටයුතුවලට අදාළ වාර්තාවන් ඇතැම් අංශ වෙතින් ලබාගත යුතුව ඇති බැවින් ඒවා ලබාගැනීමට ලිඛිත දැනුම්දීම් ඉදිරිපත් කළ බවත් ලැසිල් සිල්වා මහතා සඳහන් කළේය.

මහජන පැමිණිලි 400 ක් පමණ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබී ඇත. එම පැමිණිලි අතරින් ලැබුණ අනුපිළිවෙළට අනුව පැමිණිලි 116 ක් ප්‍රථමයෙන් තෝරා ගත්තේය. ඒ අතරින් පැමිණිලි 71 ක් මෙම පරීක්ෂණ කොමිෂමට අදාළ නොවන පුද්ගලික පැමිණිලිය. විභාග නොකරන පැමිණිලි පිළිබඳ ඒවා යොමුකළ අයට ලිඛිත දැනුම්දීම් පසුව සිදු කිරීමට නියමිතය.

දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්, රජයේ සේවකයන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධරයන් වශයෙන් සේවයේ නිරතවූ සහ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන් පිළිබඳව ඉහත සඳහන් චෝදනා සම්බන්ධව ලිඛිත පැමිණිලි සිංහල, දෙමළ, ඉංග්‍රීසි මහ ඕනෑම භාෂාවකින් යොමු කළ හැකිය. 2010 ජනවාරි මස 10 සිට 2015 ජනවාරි 10 දක්වා කාලසීමාවන්ට අයත්වන යථෝක්ත වැරදි සම්බන්ධව පැමිණිලි පමණක් ඉදිරිපත් කළ යුතුය.