බන්ධනාගාරයට ස්කෑන් ගැනීමේදී සමාගම් දෙකකට සැළකිල්ලක්


(යොහාන් භාසුර)

බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සිරකරුවන් සහ සිරකරුවන්ට දෙන පාර්සල් ස්කෑන් කිරීමට රුපියල් කෝටි ගණනක් වටිනා නවීණ ස්කෑන් යන්ත්‍ර 8 ක් මිලදීගැනීම සඳහා ප්‍රසිද්ධ කර ඇති ටෙන්ඩර් දැන්වීමට සැපයුම්කරුවන්ගේ සුදුසුකම් වැරදි ලෙස නිර්දේශ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තුමේන්තු ඇතැම් නිලධාරීහූ පවසති.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ප්‍රධාන සමාගම් දෙකකට වාසිදායක වන ලෙස සැපයුම්කරුවන්ගේ සුදුසුකම් සකස් කර ඇති බවත් මෙම ටෙන්ඩරය ඒකාබද්ධ ගිවිසුම් මත සමාගම් ඉදිරිපත් කර නොගැනීම සම්බන්ධයෙන් සමාගම් කිහිපයක්ම දැඩි විරෝධයක් පළකරන බවත් ඔවුහු කියති.

ස්කෑන් යන්ත්‍ර සැපයීමට මිල ගණන් ඉදිරිපත් කළ සමාගම්වල නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් බන්ධනාගාර මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී සමාගම් කීපයක නිලධාරීන් ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කළ බවත් ඒකාබද්ධ ගිවිසුම් හරහා පළපුරුද්ද සහ වත්කම් තහවුරු කර ටෙන්ඩර් සඳහා අයදුම්පත් ලබාගැනීම සාමාන්‍ය ක්‍රමවේදය බවත් බන්ධනාගාර නිලධාරීහු කියති.

මෙම ටෙන්ඩර් ක්‍රියාවලියේදී ගුවන්යානා මගීන් සහ ගමන් මළු ස්කෑන් කරන ටීඑස්ඒ හෝ ඊසීඒසී යන ප්‍රමිතීන් ඇතුළත් කර ඇති බවත් එම ප්‍රමිතීන් බන්ධනාගාර රැදවියන් ස්කෑන් කිරීමට හෝ ඔවුන්ට රැගෙන එන පාර්සල් ස්කෑන් කිරීමට යෝග්‍ය නොවන බවත් බන්ධනාගාර නිලධාරීහූ පවසති.