බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය ඖෂධ සංයෝජක පෙර වතාවකදීත් හසුවෙලා



(විනීතා එම් ගමගේ)


වේදනා නාශක බෙහෙත් කරල්වල ඖෂධ ඉවත් කර මත්කුඩු පුරවා බන්ධනාගාර රැදවියන්ට අලෙවි කිරීමට ගෙන යද්දී අසුවූ ඖෂධ සංයෝජකයා මීට පෙරද බන්ධනාගාරයට කුඩු ගෙනයාමේ චෝදනා ලබා ඇති අයෙකු යැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ඔහු 2004  වසරේ දී සේවය කරමින් සිටි කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට කුඩු ගෙනයද්දී හසුවී ඇති බවත් එහි දී සිව් වසරක් වැඩ තහනමට ලක්වී සිටි බවත් එම ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි. 


එම චෝදනාව පිළිබඳ නඩුව වසර ගණනක් තිස්සේ විභාග වී පොලිසියේ ප‍්‍රකාශවල පැවැති පරස්පරතාවන් හේතුවෙන් හෙතෙම නිදොස් කර  නිදහස් කර ඇතැයි ද ඒ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පැවැත්වූ පරික්ෂණය ද එවකට ප‍්‍රධාන ජේලර්වරයා හා මෙම ඖෂධ සංයෝජකයා අත් අඩංගුවට ගත් ජේලර්වරයා විශ‍්‍රාම යන තුරුත් ඇදෙමින් තිබී ඉවත දමා ඇති බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 


ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින චක‍්‍රලේඛ අභිභවා පහසුකම් ලබාගත්තෙක් බවත් නිලධාරියෙකුට නිල නිවසක රැදී සිටිය හැක්කේ අවුරුදු පහක් පමණක් වන නමුත් මේ වනවිටත් ඔහු නිල නිවාසයක වසර දහයකුත් ඉක්මවා රැ`දී සිටින බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.


ඖෂධ කරල්වලට මත්කුඩු පුරවා බන්ධනාගාරය තුළට ගෙනයාමේ ජාවාරම ද හෙතෙම  කලක සිට කරගෙන ගොස් ඇතැයි සැක කරන බව ද එම ආරංචි තව දුරටත් සඳහන් කරයි.