බන්ධනාගාර ලොක්කෝ ඉහළ අධිකරණයකට යන්න සැරසේ?


(මනෝප්‍රිය ගුණසේකර)

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලමින් මහර හිටපු බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු බන්ධනාගර නිලධාරීන් ඉහළ අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඉහළ අධිකරණයකට අභියාචනයක් කිරීම සඳහා අදාළ බන්ධනාගාර නිලධාරීන් පසුගිය සතියේ නීතීඥ සහය ලබා ගැනීමට කටයුතු කොට ඇතැයිද එම ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් වාර්තා වේ.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා  රැඳවියන් 11 දෙනකුගේ මරණ අපරාධයක් බව තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා එම අපරාධයට සම්බන්ධ සියළුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කෙරිණී.