බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති කාර්ය සාධක බළකායක්


(විනීතා එම්. ගමගේ)
 
බන්ධනාගාර ආශ‍්‍රිතව ඇතිවී ඇති ගැටලු විසදීම සදහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට පියවර ගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.
 
රජයේ රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප‍්‍රමාදයන් නිසා අති විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් රේගුව, පොලිසිය, බන්ධනාගාරය, පුනරුත්තථාපන අංශ ඇතුළු අදාල ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ යුතු බවත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
 
සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැළසීමට කඩිනම් පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබේ. බන්ධනාගාර ඇතුලත දැඩි තදබදය පිටු දැකීම පිණිස දැනට හ`දුනාගෙන ඇති ස්ථානවල පර සවි ක‍්‍රමයට සිරගෙවල් ඉදිකිරීමට ඇති හැකියාව ගැන සොයා බලන්නැයි ද රාජපක්ෂ මහතා බලධාරින්ට උපදෙස් දුන්නේය.
 
ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේ බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සහ ගැටළු විමර්ශනය කර විසඳුම් නිරදේශ කරනු පිණිස අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දීය.
 
අධිකරණ අමාත්‍ය අලි සබ්රි, බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහත්වරුද, අදාල අමාත්‍යංශ ලේකම්වරු හා ආරක්ෂක අංශ ප‍්‍රධානිහු ද මෙම සාකච්ඡාවට එක්වූ බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.