
(අංජුල මහික වීරරත්න)
දුර්ලභ බන්දුල පෙතියා මත්ස්‍යයාගේ වාසස්ථානයක් වන නික්කඳුපොල ඇළ මාර්ගයේ කොටසක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1991 වර්ෂයේදී හඳුනාගනු ලැබ ඇති බන්දුල පෙතියා මෙරටට ආවේණික, දුර්ලභ හා දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති මත්ස්‍ය විශේෂයකි.
දැනට සිදු කර ඇති ගණනය කිරීම් වලට අනුව, මෙම මසුන් සංඛ්‍යාත්මකව 300ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ජීවත් වෙතැයි සැලකේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලපිටමඩ ප්‍රදේශයේ, රබ්බිඩි ගල සිට හපුගොඩ දක්වා ගලා බසින දොළ පහරේ කිලෝමීටර 2.5 ක පමණ ප්‍රදේශයක පමණක් මෙම මත්ස්‍යයා ජීවත්වන බවට හඳුනාගනු ලැබ තිබේ.
එම දොළ පාර පසෙක රසායනික පොහොර හා කෘෂි රසායන යොදා ගන්නා කුඹුරු වගාවන් පවතින බැවින්, මානව ක්‍රියාකාරකම් බහුලව සිදු වන දොළ පහරක ජීවත් වීම, රතු දත්ත ලේඛනයට ඇතුළත්ව ඇති මෙම මත්ස්‍යයාගේ ඉදිරි පැවැත්මට බලවත් තර්ජනයක් බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, මෙම සීමිත මසුන් සංඛ්‍යාව ආරක්ෂා කිරීම සඳහා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගලපිටමඩ ප්‍රදේශයේ, රබිඩිගල සිට හපුගොඩ දක්වා ගලා බසින දොළ පහරේ හඳුනා ගන්නා ලද කිලෝමීටර් 2.5ක පමණ ප්‍රදේශය දොළ පහරේ මධ්‍ය රේඛාවේ සිට දෙපසටම මීටර් පහළොව (15) බැගින් වන භුමි ප්‍රමාණය නික්කඳු පොල අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

