බන්දුල අමැතිට දොස්


සන්ධානයේ ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම  සඳහා හෝමාගම පැවති රැස්වීමකට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නොපැමිණීම කනගාටුවට කරුණක් බව අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා කීවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ

‘‘හෝමාගම ආසනයේ දේශපාලන තත්ත්වය ගැන රජය  නිරන්තරයෙන් ඇහැ ගහගෙන ඉන්නේ. ආසනයේ කැබිනට් ඇමති කෙනෙක් ඉන්නවා ජ්‍යෙෂ්ඨතම පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා.පක්ෂ දෙන උපදෙස් අනුව  මේ අය කටයුතු කළ යුතුයි. යමක් සිද්ධවුණාට  පස්සේ එහෙම වුණා කියන එක නෙමෙයි අපි එහෙම නොවෙන්න සැලසුම් කළ  යුතුයි.

අද බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මෙතනට ඇවිත් නැහැ. මම ඒ ගැන කනගාටුවෙනවා.  මම කතා කළා එතුමා සාකච්ඡාවකට ලෑස්ති වෙනවා කිව්වා. මම කිව්වා සාකච්ඡාව නෙමෙයි මේකයි වැදගත් ඒක කල් දාලා මේකට එන්න කියා. එතුමා විනාඩි 5 කින් කියනවා දැන් සාකච්ඡාව පටන් ගත්තා එන්න වෙන්නේ නැහැ කියා.

පක්ෂයේ ප්‍රශ්න තියෙනවා, සංවිධායකයන් අතර ප්‍රශ්න තියෙනවා ඒ කිහිප දෙනෙක්ගේ ගැටුම් නිසා මේ මැතිවරණයක් තියෙන වෙලාවේ ජනාධිපතිට සහයෝගයක් නොලැබුණොත් ඒක ශෝචනීයයි‘‘.