බන්දු සමරසිංහ නඩුවේ දෙදෙනකුට ඇප


රංගන ශිල්පී බන්දු සමරසිංහගේ පැමිණිල්ලක් අනුව පැවැත්වෙන බින්දු බෝතලේගම හෙවත් ජනක කුමාරට එරෙහි නඩුවේ සැකකරුවන් දෙදෙනකුට අද (14) ඇප නියම විය. රංගන ශිල්පී බන්දු සමරසිංහ අනුකරණය කරමින් ඔහුගේ නමින් චිත්‍රපටවල රඟපා එම චිත්‍රපටවල ඩීවීඩී පට විකුණා මුදල් ඉපැයූ බව කියන බින්දු බෝතලේගම දැනට ඇප මත සිටින අතර නොතීසි ලබා සිටි තවත් සැකකරුවන් සිව් දෙනකුගෙන් දෙදෙනෙක් අධිකරණයේදී අද පෙනී සිටියහ. 
උදයකාන්ත වර්ණසූරිය හා චමින්ද කුමාර රාජසූරිය යන එම දෙදෙනාට රුපියල් 10,000 බැගින්වූ ශරීර ඇප නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 
එහි තවත් සැකකරුවන් දෙදෙනකු වන මාලිංග ශ්‍රීමාල් වීරසිංහ හා කැළුම් උදයකුමාරට යළි සිතාසි නිකුත් කෙරිණි. නඩුව මාර්තු 14 වැනිදාට කල් තැබිණි.