බදුලු ලංගම ඩිපෝවට ලක්ෂයක දඩයක්


ලංගම වැඩවර්ජනයකින් පෞද්ගලික බස් ධාවනයට සිදුවූ බාධා නිසා බදුල්ල ලංගම ඩිපෝ අධිකාරී ඇතුළු රියදුරන් හා කොන්දොස්තරවරුන්   15 දෙනකුට බදුල්ල මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය රුපියල් එක් ලක්ෂ පන්දහසක දඩ නියම කළාය.

එක් අයකුට නියම වූ දඩය රුපියල් හත් දහසකි.

ඩිපෝ අධිකාරී ඩබ්ලිව් එම් චන්ද්‍රපාල ඇතුළු පිරිසට මෙම දඩ නියම විය.

පසුගිය 26 වැනිදා නුවරඑළියේ සිට කල්මුණේ දක්වා අලුතින් පෞද්ගලික බස් රියක් යෙදවීමට විරෝධය පළ කරමින් කැප්පෙටිපොල ඩිපෝ සේවකයන් ඇරැඹූ වර්ජනයට බදුල්ල ඩිපෝ සේවකයෝ ද එක් වූහ.

පෞද්ගලික බස් වලට බදුලු බස් නැවතුම්පොළට ඇතුළු විය නොහැකි වන සේ බස් හරස් කිරීම නිසා පෞද්ගලික බස් ධාවනය ඇන හිටි බව අධිකරණයේ දී කියැවිණි.

පෞද්ගලික බස් හිමියන්ගේ පැමිණිලි අනුව පොලිසියෙන් මේ නඩුව පවරා තිබිණි.