බදුලු බස් සමාගම් සභාපති කප්පම් කා රිමාන්ඩ්


බදුල්ල මහ බස් පොළේ දී අන්තර් පළාත් බස් වලින් රුපියල් සියය බැගින් කප්පම් ගත්තැයි 99 බදුල්ල- කොළඹ පෞද්ගලික බස් ධාවන සේවක සංගමයේ සභාපති අනුර රාජපක්ෂ බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය විසින් ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

පොලිසිය අධිකරණයට දැන්වූයේ කොළඹ සිට බදුල්ලට එන පෞද්ගලික බස් සේවකයනට තර්ජනය කර වසර ගණානාවක සිටි මොහු රුපියල් සියය බැගින් කප්පම් එකතු කරන බවයි.

සීමාසහිත බදුල්ල මගී ප්‍රවාහන සමාගම ද ඔහුට එරෙහිව පැමිණිලි කර ඇතැයි ද, අයථා ලෙස මුදල් ගැනීම නතර කරන බවට දුන් පොරොන්දු ඉටු කර නැතැයි ද බස් සේවකයන් මීට එරෙහිව වර්ජනයක් ඇරැඹීමට යතියි ද පොලිසිය අධිකරණයට දැන්වීය.