බදුල්ලට මහනුවරට ජයිකා ආධාර


(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය අඛණ්ඩ සහාය ලබා දෙමින් ජපාන රජය විසින් පරිත්‍යාග කරන ලද හදිසි සහන ද්‍රව්‍ය තොගයක් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වෙත නිල වශයෙන් බාර දී ඇත. 

 මෙම සහනාධාර තොගය ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio ISOMATA

මහතා සහ JICA ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත Kenji KURONUMA යන මහත්වරු  ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර  සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සම්පත් කොටුවෙගොඩ (විශ්‍රාමික) යන මහත්වරුන්ට බාර දුන්හ.

ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස හානි වූ ප්‍රදේශවල අවතැන් වූ පවුල්වලට සහාය වීමට සහ ඔවුන්ගේ මූලික ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය අත්‍යවශ්‍ය මානුෂීය ද්‍රව්‍ය රැසක් මීට ඇතුළත් අතර කූඩාරම් 200 ක්, බ්ලැන්කට් 1,200 ක්, නිදන මෙට්ට 1,200 ක්, ප්ලාස්ටික් ආවරණ (ටාපෝලින්) 20 ක්, රැගෙන යා හැකි ජල බහාලුම් (ජෙරි කෑන්) 200 ක් සහ ජල පිරිපහදු යන්ත්‍ර 10 ක් ඒ අතර වේ.‍

බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල විපතට පත් වූ ජනතාව වෙනුවෙන් මෙම ද්‍රව්‍ය බෙදා හැරීමට නියමිතය.