සංචාරක කර්මාන්තයේ නිරත කුඩා හෝටල් හා ආපනශාලාවල මත්පැන් බලපත්‍ර ගාස්තුව හිටි හැටියේ දෙගුණක් කිරීමට එරෙහිව තමන් නීතිය හමුවට යන බව හික්කඩුව කුඩා හෝටල් හිමියන්ගේ සංගමය පවසයි. 2015 වර්ෂය සඳහා අදාල බදු මුදල් රජයට ගෙවා නියමිත බලපත්‍ර ලබාගෙන සිටිය දී හිතුමතයේ බදු මුදල් වැඩි කළ රජය තමන් ගෙවූ බදු මුදල මෙන් තවත් මුදලක් 2015 සඳහා ගෙවන ලෙස නියෝග කිරීම බලවත් අසාධාරණයක් බව ද එම සංගමය පවසයි.
හික්කඩුවේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම සංගමයේ නිලධාරීන් පවසා සිටියේ බදු මුදල් වැඩිකරණවානම් එය වැඩි කළ යුත්තේ ගෙවීම් සිදුකර අවසන් වූ වර්ෂයකට නොව ගෙවීමට තිබෙන වර්ෂයකට බවයි. තමන් මුලින්ම මත්පැන් බලපත්‍රය ගනිද්දී ඒ සඳහා ගෙවිය යුතු වාර්ෂික බද්ද රුපියල් 700ක් බවත් එකළ හොර මත්පැන් විකිණීමේ වරදට එකළ දඩය රුපියල් 1500ක් බවත් ඔවුහු කියති. නව බදු වැඩිවීමත් සමග මත්පැන් බලපත්‍ර ගාස්තුව රුපියල් පන් ලක්ෂයක් කැර ඇතත් හොර මත්පැන් විකිණීමේ වරදට දඩය රුපියල් 5000ක් බව ඔවුහු පෙන්වා දෙති. මේ හේතුවෙන් සංචාරකයන් සඳහා ආපන ශාලා හා කුඩා හෝටල්වලින් අදාල සේවාවන් පවත්වාගෙන යාම අපහසු වී ඇතැයි ද ඔවුන් පවසයි.
මේ සම්බන්ධයෙන් රජයට කොතෙක් කරුණු දැක්වුව ද එයට පිළියමක් නොලැබුණු බැවින් තමන් බදු වැඩිකිරීමට එරෙහිව නීතිය හමුවට යන බව ද කුඩා හෝටල් හිමියන්ගේ සංගමය කියයි.

