
(රෝෂන් තුෂාර)
රුපියල් ලක්ෂ 369 ක පුද්ගල ආදායම් බදු නොගෙවා සිටීමට හේතු ඇත්නම් දෙසැම්බර් 16 දින අධිකරණය හමුවේ ලිඛිතව කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට අද(22) නියෝග කළේය.
රුපියල් 36975959.00 ක පුද්ගල ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් සචින්ද වාස් මහතාට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටීයේය. වග උත්තරකාර ගුණවර්ධන මහතා වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු දක්වමින් කියා සිටියේ මහේස්ත්‍රාත් අධිකරණ නඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකොට ඇති බවය.එම පෙත්සම 2026 මාර්තු මස 26 වැනි දින කැඳවීමට නියමිත බවද පැවසීය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් කිසිදු නියෝගයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිකුත් කොට නොමැති බවත්,මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් මේ වන විට නොමැති බවත් සඳහන් කළේය.
2010,2011 හා 2012 වර්ෂ වලට අදාළව ආදායම් බදු රුපියල් 36975959.00 ක් නොගෙවීම් සම්බන්ධයෙන් සචින්ද වාස් මහතාට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් මෙම නඩුව පවරා ඇත.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ආදායම් බදු තවදුරටත් නොගෙවා සිටීමට හේතුව ඇත්නම් දෙසැම්බර් 16 දින ලිඛිතව අධිකරණය හමුවේ කරුණු ගොණු කරන ලෙසට නියෝග කළේය.

