බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමෙන් අනතුරුව එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු පිරිසක් කියා සිටියේ මේ රැස්වීම් සියල්ල නීති විරෝධී බවයි. ඔවුන් පැවසුවේ සමස්ථ ලංකා කාරක සභා අවස්ථාවේ දී තමන්ට අදහස් දැක්විමට ඉඩක් නොලැබුණු බවයි. රැස්වීම අවසන්කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එතැනින් ඉවත්ව ගිය පසු රැස්වීම පැවැත්වූ ශාලාවෙන් එළියට ආ ඔවුහු මෙලෙස විරෝධය දැක්වූහ. විධායක සභාවේ දී පත්කැරගත් නිලධාරී මණ්ඩලය ගැන තමන්ට නොකී බවත් ගම් මට්ටමින් ආරක්ෂා කරගෙන තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය අද වළලා දැමූ බවත් ඔවුහු කියති. තමන්ට සිදුව ඇත්තේ විධායක සභාවට අත ඉස්සීම බව ද ඔවුහු කියති. රැස්වීම අවසන්වී එතැනින් ඉවත්වීමට ගිය හිටපු ඇමතිවරුන්ට සහ නව නිලධාරීනට ඔවුහු බාධා කළහ.
තම පක්ෂය පාවා දුන් බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා කළ යුතු බවත් ඇතැමුන් කීහ.
මේ රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරු වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ දෙදෙනාට ආරාධනා කැර තිබුණ ද ඔවුන් දෙදෙනා ම පැමිණ සිටියේ නැත. පෙරදින පැවති මධ්‍යම කාරක සභාවේ දී මේ දෙදෙනාට ආරාධනා කැර තිබූ බව හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන මහතා කීවේය. අද ඔහු කියා සිටියේ හිටපු ජනපතිනියටත් ජනාධිපතිවරයාටත කලින් සැළසුම් කළ ඉතා වැදගත් කටයුත්තකට සහභාගී වීමට සිදුව ඇති බැවින් නොපැමිණෙන බව ලිඛිතව දැනුම් දූ තිබූ බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන් සදාකාලිකව ම ආදරය කරණ බව පවසන හිටපු ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපතිනියත් රැස්වීමට පැමිණිය යුතු බවත් ඔවුන් පක්ෂයට දක්වන ආදරයේ තරම එයින් පෙනෙන බවත් නම සඳහන් කිරීමට අකමැති මන්ත්‍රීවරයකු කියා සිටියේය.

