බණ්ඩාරනායකය දවසකට රෝහලක් වෙයි


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුන්  සංවිධානය කළ වෛද්‍ය විද්‍යා ප්‍රදර්ශනය,  වෛද්‍ය සායනය සහ ලේ දන් දීමේ කඳුවුර අද එම විදුහල් පරිශ්‍රෙය්දි පැවැත්විණි.

එම විදුහලෙන් අධ්‍යාපනය ලැබ මේ වන විට වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයන්  සහ වෛද්‍ය සිසුහු එක්ව මෙහි සායන පැවැත්වුහ.

දියවැඩියාව,  අධික රුධිර පීඩනය, ඇතුළු බෝ නොවන රෝග සායන, ගැහැණු ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් සුවනාරී සායනය, උගුර කණ නාසය පිළිබඳ සායන, අක්ෂි වෛද්‍ය සායනය, දන්ත වෛද්‍ය සායනය, නව යොවුන් වියේ සෞඛ්‍ය ගැටළු පිළිබඳ දැනුම්වත් කිරීම, පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ සම්මන්ත්‍රන සෞඛ්‍ය අධ්‍යාපන සහ ප්‍රවර්ධන වැඩසටහන්, දේශීය වෛද්‍ය සායනය, පශු වෛද්‍ය සායනය ද මොවුහු පැවැත් වුහ.

මීට අමතරව  එහි උගත් නීතිඥයෝ සහ නීති සිසුහු  නීති උපදේශන සේවාවන් පැවැත් වුහ. 

ජාතික හැදුනුම් පිළිබඳ ජංගම සේවය, විදේශ ගමන් බලපත් පිළිබඳ ජංගම සේවය, උප්පැන්න මරණ හා විවාහ ලියාපදිංචි කිරීමේ ජංගම සේවා, ඉඩම් ගැටළු පිළිබඳ ජංගම සේවා, බදු හා ගිණුම් කටයුතු පිළිබඳ ජංගම සේවා, රැකියා වෙලඳ පොළ අධ්‍යාපන හා වෘත්තීය පිලිබඳ මාර්ගපදේශන සේවාවන්ද මෙහිදී පැවැත් වුහ.

ඉහත ආයතයන්හි සේවය කරන බණ්ඩාරනායක ආදි සිසුහු රැසක් මෙයට එක්ව සිටියහ.

යක්කල ආයුර්වේද රෝහළේ වෛද්‍යවරු සහ සිසුහු එක්ව  දේශීය වෛද්‍ය සායනයක් පැවැත්  වුහ.

ඔවුහු පැමිණි සිට  සැමට හකුරු සමග ඔසුපැන් පිළිගැන්වුහ.

සාමාන්‍ය රෝහළක මෙන් බාහිර රෝගී ඒකකයක් ද එහි පැවති  අතර බටහිර බෙහෙත් මෙන්ම දේශීය බෙහෙත් නොමිලේ සපයනු දක්නට ලැබිණ.

තම අවශ්‍යතාවයන් සහ ගැටළු නිරාකරණය කරගැනීම සඳහා නන් දෙසින් ජනයා  විදුහල් භූමියට ඇදී ආහ.