බණ්ඩාරනායක දරුවෝ දස්කම් විස්කම් දක්වති


ගම්පහ බණ්ඩාරනායක විදුහලේ  95 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන  පවත්වන ‘එක්ස් - බෑන් 2013‘  අධ්‍යාපනික, විද්‍යා තාක්ෂණ හා වෙළඳ ප්‍රදර්ශනය අද(09)   විවෘත විය.

වසර පහකට වරක් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි.

පැසැල් සිසු නව නිර්මාණ, රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින් පවත්වනු ලබන ප්‍රදර්ශන කුටි, වෙළඳ කුටි හා දරුවන්ට විනෝදාස්වාදය ලැබිය හැකි නවීනතම ක්‍රීඩා අංග ඇතුලත් මෙම ප්‍රදර්ශනය 2013 ඔක්තෝම්බර 13 තෙක් පෙරවරු 9.00 සිට පස්වරු 5.00 විද්‍යාල  පරිශ්‍රයේ දී පැවැත්වෙයි.

විදුහල්පති  පී.ජී.ඩී.ටී ඇක්වයිනාස් මහතාගේ සංකල්පයක් මත 1988 වර්ෂයේදී එක්ස් බෑන් ප්‍රදර්ශනය ආරම්භ කැරිණි.

1918 සැප්තැම්බර් 18 වැනි දින විද්‍යාලයාධිපති චාල්ස් සමරසුරිය මහතාගේ මුලිකත්වයෙන් හෙනරත්ගොඩ සීවලී බෞද්ධ පාඨශාලාව නමින් ඇරඹි මෙම පාසල පසුව  හෙනරත්ගොඩ රජයේ ජ්‍යෙෂ්ඨ ද්වීතීයක ඉංග්‍රීසි පාසැල් ලෙස ප්‍රසිද්ධ විය.

සිසු දරුවන් 10 කට වඩා අඩු සංඛ්‍යාවකින් මෙය ආරම්භ කෙරිණි. අද මෙහි සිසුහු 4500ක් පමණ සිටිති. 1949 වර්ෂයේ වර්තමාන පාසැල පිහිටි භූමිය වෙත ගෙන ඒමෙන් අනතුරුව කසගහවත්ත රජයේ පාඨශාලාව  නමින්දල පසුව ගම්පහ බණ්ඩාරනායක විදුහල නමින් හැදින්විණි.

විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මඟපෙන්වීමෙන් මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙයි.

පියෝ ටීවී හා අන්තර් ජාලය ඔස්සේ එක්ස්බෑන් ප්‍රදර්ශනය සජීවීව නැරඹිය හැකිය.