බඩඉරිඟු වගාවට ජලගැළුම් නිම්නයත් විකුණං කති


(ක.ග.කරුණාරත්න)

පොළොන්නරුවේ ප්‍රකට සහල් ව්‍යාපාරිකයෙකුට  බඩ ඉරිඟු වගාවක් සඳහා ලබා දී  ඇති  සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත්  භූමියක අක්කර 100 ක් පමණ  මේ වන විට  ඩෝසර් දමා හෙළි කර ඇතැයි  පොළොන්නරුව කලාප බාර වනජීවී  සහකාර අධ්‍යක්‍ෂ කීර්ති චන්‍ද්‍රරත්න මහතා ප්‍රකාශ කළේය.

මෙම කැලෑ හෙළිකිරීමෙන් විශාල පරිසර හානියක් සිදුව ඇතැයිද ,මාදුරුඔය සහ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානවල වෙසෙන වන අලි සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ගමන් ගනු ලබන්නේ මෙම අලි මංකඩ ඔස්සේ යැයිද සහකාර අධ්‍යක්ෂවරයා  පැවසීය.
 
එහෙත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට එම භූමිය එවැන්නක් සඳහා ලබාදීමට කිසිදු බලයක් නොමැති බවද කීය. මේ වන විට එම සහල් මෝල් හිමියා විසින්  බුල් ඩෝසර් ආදී යන්ත්‍ර සූත්‍ර යොදාගෙන දැවමය වටිනාකම් ඇති විශාල ප්‍රමාණයේ ගස් ඇතුළු ශාක වර්ග රාශියකට හානි කර තිබෙන බව සිදු කළ විමර්ශන වලදී හෙළිවී ඇතිබවද ඒ මහතා කීවේය.


මෙම වන විනාශය සහ පරිසර විනාශය නිසා අලි ඇතුන් ප්‍රමුඛ වනජීවින්ගේ චර්යාවන්ට විශාල වශයෙන් බාධා එල්ලවී තිබෙන බවද චන්‍ද්‍රරත්න මහතා පැවැසීය. එම නිසා ඒ නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් වහාම නැවැත්වීමට පියවර ගත් බවත් අදාල පාර්ශවකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


අප මේ සම්බන්‍ධයෙන් මහවැලි  බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු සුගත් වීරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා  කීවේ‘ මෙම භූමිය ශ්‍රී  ලංකා මහවැලි අධිකාරිය සතු බවත් එම නිසා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේද අනුමැතිය ඇතිව මෙයට මාසයකට පමණ පෙර මෙම ව්‍යාපාරිකයාට බඩ ඉරිඟු වගාවක් සඳහා නියමිත බදු මුදල් අයකරගෙන එම භූමිය ලබාදී ඇති බවද කීය.

එහෙත් එම ව්‍යාපාරිකයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අවසරයකින්  තොරව නීති විරෝධී ලෙස එම භූමියට දහයියා සහ දහයියා අළු මුදාහැර තිබෙන බවත් සතියක් ඇතුළත එම දහයියා ඉවත්කර ගන්නා ලෙස ඔහුට දැනුම්දී තිබෙන බවද නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා කීවේය.