බංග්ලාදේශ ක‍්‍රිකට් විනිසුරු නදීර් ෂා ට වසර 10 කට තරග තහනමක් පනවයි


මුදලට ක‍්‍රිකට් තරග පාවාදුන්නේ යැයි චෝදනා එල්ල වූ බංග්ලාදේශ විනිසුරු නදීර් ෂා මහතාට වසර 10 ක තහනමක් පැනවීමට බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙම චෝදනා පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ විශේෂ කමිටුව විසින් අද (18) මෙම දඩුවම නියම කළේය.

ඉන්දීය රූපවාහිනී ආයනයක් පසුගිය වසරේ ඔක්තෝබර් මස විකාශය කළ වැඩසටහනකින් නදීර් ෂා විනිසුරුවරයා ඇතුළු ශ්‍රී ලංකා, බංග්ලාදේශ සහ පාකිස්තානු විනිසුරුවන් කීප දෙනකු මුදලට තරග පාවාදීමට හවුල් වූ යැයි හෙළි කළේය.

නදීර් ෂා විනිසුරුවරයා 2006 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළදී එක්දින ජාත්‍යන්තර තරග 40 කදී විනිසුරු ලෙස කටයුතු කර තිබේ.

තහනමට ලක්වූ නදීර් ෂා මහතා පවසන්නේ තමන්ට පැනවූ දඩුවම සම්පූර්ණයෙන්ම වැරදි බවත් ඒ සඳහා සාක්කි නොමැති බවත්ය.

‘‘මෙම තීරණය පිළිබදව යළි සළකා බලන ලෙස මා බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා’’ යැයි නදීර් ෂා විනිසුරුවරයා වැඩි දුරටත් පවසයි.