පෞද්ගලික පාසල්වල ගුරු ගැටලු විසඳන්න - ජෝසප් ස්ටාලින්


(නිමල කොඩිතුවක්කු)

රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට රජය මැදිහත් නොවීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට අද (21) පැවැසීය.

ලංකා ගුරු සංගමය ලබන 28 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී රැස්වී මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

රජයේ අනුමත  පෞද්ගලික පාසල්වල ගුරු උසස්වීම් පිලිබඳ ක්‍රමවේදය විධිමත් නොවීම,  වැටුප් වර්ධක හා හිඟ වැටුප් සම්බන්ධ ගැටලු ආදී කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම රැස්වීම කැඳවන බවද ඒ මහතා පැවැසීය.

මෙම පාසැල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ  1961 පනතක් බැවින් එය යාවත්කාලීන නොවීමෙන් බරපතල පීඩනයක් ගුරුවරුන් මත පැටවී ඇතැයිද ස්ටාලින් මහතා සඳහන් කරයි.

මෙම ගැටලු සම්බන්ධයෙන් රජය මැදිහත්වී කඩිනම් විසදුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.