පෝට් සිටි ගැන මහජන විමසීම් මාසෙකින් උසාවියට


කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ (පෝට් සිටි) පළමු අදියර සඳහාවූ පාරිසරික ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම් වල ප්‍රගතිය මාසයකින් අධිකරණයට දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

පෝට් සිටි ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරිණ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා පෝර්ට් සිටි ව්‍යාපෘතියට අදාළ පාරිසරික වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේය.වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම දෙසැම්බර් මුල සිට ආරම්භ කර ඇති බව හෙතෙම පැවසීය.

පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කියා සිටියේ රජය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීන රජය සමග ඇති ගිවිසුම ලබන මාර්තා මාසය තෙක් දීර්ඝ කර ඇති බවයි.

එසේම ව්‍යාපෘතිය සඳහා ගොඩ කෙරෙන හෙක්ටයාර 233 මේ වන විට හෙක්ටයාර 269 දක්වා වැඩි කර ඇති බවද නීතිඥ දාබරේ මහතා කියා සිටියේය.

පෙත්සම ලබන ජනවාරි 25 වැනිදා සළකා බැලීමටද,එදිනට එහි ප්‍රගතිය වාර්තා කරන ලෙසටද අභියාචනාධිකරණය නීතිපතිට දැනුම් දුන්නේය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තර කරුවන් ලෙස ශ්‍රීලංකා වරාය අධිකාරිය,වෙරළ සංරක්ෂණ දෙපාර්තමෙන්තු අධ්‍යක්ෂක ජෙනරාල්,මධ්‍යම පරිසර අධිකාරිය,ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

කොළඹ ගාලුමුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකර වරාය නගරය ඉදිකිරීමෙන් වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි බලපෑම් සිදුවන බව පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය පෙන්වා දේ.එබැවින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන් කර ඇති නීතිවිරෝධී සියලු ගිවිසුම් අහෝසි කිරීමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවන්ගේ ඉල්ලීමයි.