පොළොන්නරුව ගල් විහාරයේ පිළිම සංරක්ෂණය කෙරේ


පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ ඉපැරණී බුදු පිළිම මත දීර්ඝ කාලයක් තිස්සේ රැඳී තිබෙන දුවිලි ඉවත් කිරීමට සහ ඒවායේ පෞරාණිකත්වයට හානි සිදු නොවන ආකාරයට අවශ්‍ය ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

එම කටයුතු කෙරෙනුයේ පුරාවිද්‍යාවේ නියමයන්ට අනුව සහ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධීක්ෂණය යටතේ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මේ වන විට බුද්ධ ප්‍රතිමාවල දූවිලි ඉවත් කිරීමේ කටයුතු කෙරෙමින් පවතින බවත් සැතපෙන පිළිමයේ පිපිරීම් සිදුව ඇති ස්ථාන සංරක්ෂණය කිරීම,හිටි පිළිමයේ අව් වැසි ආවරණය සඳහා යොදා ඇති ලී ආධාරකය ඉවත් කිරීම ආදිය ඉදිරි දිනවලදී කිරීමට නියමිතව ඇතැයිද ඒ මහතා පැවසීය.

එම කාර්යයන් සඳහා අවශ්‍ය පර්යේෂණ සහ නිරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවද මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

මෙම සංරක්ෂණ කටයුතුවලට අමතරව ඓතිහාසික ගල් විහාරය,ඉපැරණි පැරකුම් පිළිරුව,තිවංක පිළිම ගෙය යන පුරා විද්‍යා ස්මාරක සම්බන්ධයෙන් සති දෙකකට වතාවක් නිරීක්ෂණ වාර්තා ලබා ගැනීමේ වැඩ පිළිවෙලක්ද ආරම්භ කර තිබේ.

පුරා විද්‍යා ඉතිහාසයේ මෙවන්නක් ක්‍රියාත්මක වනුයේ ප්‍රථම වතාවට බව පැවසු මහාචාර්ය ගුණවර්ධන මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ භූ විද්‍යාඥවරයා වන මහාචාර්ය කපිල දිසානායකයන් යටතේ මෙය ක්‍රියාවට නැංවෙන බවද පැවසීය.

  Karu-Gallviharaya-News-Pix-(6) Karu-Gallviharaya-News-Pix-(5) Karu-Gallviharaya-News-Pix-(1)