පොහොර වංචාව ගැන කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්


(සුජිත් හේවාජුලිගේ )

පොහොර ආනයනයේදී රුපියල් කෝටි 320 ක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් මෙම සිද්ධි වලට වගකිව යුතු අය කෝප් කමිටුවේ සිටියදී  ඒ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මෙලෙස රටට නැතිවී ඇත්තේ මහජනතාවගේ ගොවි ජනතාවගේ මුදල් බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට  විගණන  වාර්තාව නිර්දේශ කර ඇතත් නිසි පියවරක් තවමත් ගෙන නැතැයි පැවසූ කිරිඇල්ල මහතා නිර්දේශ නිකුත් කර වසරකට වැඩි කාලයක් ගතවී ඇතැයිද පෙන්වාදුන්නේය.

මෙතැනදී යම් බලපෑමක් සිදු වූයේ දැයි සැකයක් මතුවන බවද  ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කඩිනමින් අරඹා වැරදිකරුවන්ට දඬුවම් කළයුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.