පොහොට්ටුවේ නායකත්වය මහින්දට බාර දෙන්න යයි


 (නාලක සංජීව දහනායක)


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂ නායකත්වය බාරගන්නැයි ලබන මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී ඉල්ලීමක් කරන බව එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (1) පැවසීය.


හිටපු ජනාධිපතිවරයාට පක්‍ෂ නායකත්වය බාරගැනීමට දැන් කාලය උදාවී තිබෙන බව සඳහන් කළ මහාචාර්යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටිමින් වෙනත් පක්‍ෂය සාමාජිකත්වය බාරගැනීමෙන් හිටපු ජනාධිපතිවරයාගේ මන්ත‍්‍රීධූරය අහිමිවීමේ අවදානමක් නැතැයිද කීය.


යම් හෙයකින් එවැනි අවධානමක් මතුවුවහොත් ඒ සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවද පැවසීය.


මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාව සකස්කිරීම අවසන් අදියරේ පවතින බවත් ඊට අමතරව තරුණ පෙරමුණු ව්‍යවස්ථාව, කාන්තා පෙරමුණු ව්‍යවස්ථාව ද සකස් කරමින් සිටින බවද සඳහන් කළේය. 


පක්‍ෂය පිහිටුවා මාස 16ක් ඇතුළතදී පළාත් පාලන මැතිවරණය ජයගත්බවත් එහි ගෞරවය සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්‍ෂ මහතාට හිමිවිය යුතු බවද පැවැසීය.


බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (1) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. 

(ඡායාරූපය- ජයමාල් චන්ද්‍රසිරි)