පොහොට්ටු අපෙක්ෂකයා ගැන කෙළ බිඳක් හෙලන්න එපා


(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන්ම ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයට තවත් වසරකටත් වැඩි කාලයක් තිබෙන බැවින් ,පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයකු සම්බන්ධයෙන් දැන්සිටම අදහස් පළ කිරීම ගැටලුකාරී බව ද,මැති ඇමතිවරුන්ට දන්වා ඇතැයි ආරංචිමාර්ග වලින් පැවසේ.

මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිප දෙනකු දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කළ අතර,ඒ සම්බන්ධයෙන්ද පක්ෂය තුළ මතභේදයක් හටගෙන ඇතැයි දැනගන්නට ඇත.

ජනාධිපති අපේක්ෂකයකු සම්බන්ධයෙන් දැන් සිටම අදහස් ප්‍රකාශ කිරීම පක්ෂයේ ඉදිරි කටයුතු වලට බාධාවක් විය හැකි බවද ඔවුන් පෙන්වා දී ඇතැයිවාර්තා වේ.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග සහ විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර යන මහත්වරුන් පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ,මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු බවය.