පොලීසිය නොකීදේත් ලියාගෙන


තමා නොකී දේ පොලීසිය තම කට උත්තරයේ සටහන් කැර ඇතැයි ද ලියා ගත් කට උත්තරය තමාට යළි කියවා නොදුන්නේයැයි ද තංගල්ල නේචර් හෝටලයේ කළමනාකාරීනී තරංගා පීරීස් බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතන නඩුවේදී අද ප්‍රකාශ කළාය.

රෝහීණි වල්ගම කොළඹ මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ විභාග වන මේ නඩුවෙන් තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු හය දෙනෙක් කුරාම් ෂයික් ඝාතනය කළැයිද ඔහුගේ  පෙම්වතිය වික්ටෝරියා කෙළෙසී යැයිද චෝදනා ලැබ සිටිති.

විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇය කියා සිටියේ සැකකරුවකු වික්ටෝරියාට පුටුවකින් පහර දෙනු දුටු බවයි.

එලෙස ප්‍රකාශයක් ඇය පොලීසියට කැර නැතැයි  විත්තියේ නීතීඥවරයා කීවේය.

එම සිද්ධිය තමාට අද වාගේ මතක යැයිද ඇය පිළිතුරු දුන්නාය.

මෙම නඩුවේදී සාක්කි දුන්නොත් තමා මරා දමන බවට සැකකරුවකු තුවක්කුවක් එල්ළ කර  කී බවට ඕ කීවාය.

එය පිස්තෝලයක් ද ටී පනස් හයේ අවියක් ද යන්න නොකී බවත් පොලිස් පොතේ එය ලියා ඇත්නම් තමා නොකී දෙයක් ලියාගෙන ඇති බවත් ඇය කිවාය.

වැඩිදුර විභාගය බදාදාට (23) කල් තැබිණි .