පොලිසියේ පුරප්පාඩු විසිඅටදාහක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොලිසියේ මේවන විට පුරප්පාඩු 28000කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර එයින්  පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා  පැවසීය. 

මේ වන විට ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී අදාළ කටයුතු ආරම්භ කොට ඇති බවත් මේ වසර තුළ මෙම පිරිස බඳවා ගැනීම සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. 

එසේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන අය අතුරින් 10,000ක පිරිසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කීවේ පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.

ආනන්ද විජේපාල මහතා‍ගේ සභාපතීත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාගේ සභභාගීත්වයෙන් මෙම උපදේශක කාරක සභාව රැස්විය.

පොලිස් සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාරක සභාවේදී ඉදිරිපත් කළ විමසීම්වලට පිළිතුරු ලබා දෙමින් විජේපාල මහතා මේ බව සඳහන් කළේය.