මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිධන් හෑරීමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව වන්නි නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇත.
2016 ඔක්තෝබර් 18 වැනිදා පොලිස් නිලධාරීන් පිරිසක් අවසරයකින් තොරව පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ කැනීම් කර ඇති අතර පසුව පුදුකුඩිඉරිප්පු පොලීසියේ සුළු පැමිණිලි අංශ නිලධාරීන් දෙදෙනෙකු ඒ පිළිබඳව විමසීමේදී පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ තමන් මුලතිව් පොලීසියේ බවත් ආයුධ ඇති බවට ලැබුණු තොරතුරකට කැනීම් සිදු කරන බවත්ය.
මේ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති වරයාට දැනුම් දීමෙන් පසු ඔහු එම ස්ථානයට පැමිණ තමන්ගෙන් අවසරයක් හෝ දැනුම් දීමක් නොකොට කැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් විමසීම් සිදු කිරීමත් සමග කැනීම් සිදු කළ නිලධාරීන් කැනීම් නවතා ආපසු ගොස් ඇත.
මේ වන විට පොලිස්පති වරයාගේ නියමයෙන් අදාල සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් සිදු කිරීමට වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාට බාර දී ඇත.

