පොලිසිය නඩුවෙන් පරදී


ජංගම දුරකතනයකින් අමතමින් රිය ධාවනය කළ බවට පුද්ගලයකුට නිනාසර පැමිණිල්ලක් කර ඔහු පීඩාවට පත් කිරීම වෙනුවෙන් වන්දි ලෙස රුපියල් හතලිස් දහසක් ගෙවන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පල්ලම පොලිස් ස්ථානාධිපතිට හා එහි රථ වාහන අංශයේ ස්ථානාධිපතිට නියෝග කළේය.

නිකවැරටිය වැව රවුම් පාරේ ව්‍යාපාරික මොහොමඩ් බාස්කාන් අහමඩ් පාරුක්ට එරෙහිව මේ නඩුව පවරා තිබුණි. මහේස්ත්‍රාත් ඔහු නිදොස් කොට නිදහස් කළේය.

පල්ලම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එයි එම් නසීම් ඔහුට රුපියල් තිස් දහසක් ද, පල්ලම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මසිරි රාජපක්ෂට රුපියල් දස දහසක් ද ගෙවිය යුතු යැයි නියෝග කළේය.

එම දෙදෙනාම මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කර ඇත.