පොලිසිය - හමුදාව අඳුරේම සෝදිසි මෙහෙයුම් කරති




(තරිඳු ජයවර්ධන)
මීතොටමුල්ල  කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් දහම්පුර ප්‍රදේශයේ නිවාස කිහිපයක් යටවිමත් සමග එහි ගිය ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීහු යටවූවන් සොයා වෙහෙසෙති. ප්‍රදේශයේ විදුලි බලය ඇණහිටීමෙන් සමස්ත ප්‍රදේශයම අඳුරේ ගිලී තිබුණද ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීහු උත්සාහය අත් නොහැරම කටයුතු කරමින් සිටිති.

කුණු කන්ද කඩා වැටීම නිසා ගෙවල්  100 කට ආසන්න සංඛ්‍යාවක් යටවීමෙන් එම පුදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබිණ.

සෝදිසි මෙහෙයුම් සඳහා ප්‍රදේශයේ පදිංචිව සිටි මිනිසුන් ඉවත් කර ඇති නමුත් තමන්ගේ නෑදෑයන් සොයාගෙන ආ මිනිස්සු මීතොටමුල්ල ශ්‍රී  රාහුල විදුහල අවට රැඳි සිටිති. සොදිසි මෙහෙයුම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මීතොටමුල්ල ශ්‍රී  රාහුල විදුහලේදී පැවැත්විණි.

තමන්ගේ නෑදෑයන් සොයා දෙන්න යයි මිනිස්සු ඇවිටිලි කරමින් රැඳී සිටිති. අඳුර නිසා සෝදිසි මෙහෙයුම් වලට බාධා ඇති වූවත් වයර් ඇදගෙන හෝ ආලෝකය සපයා ගැනීමට ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ උත්සාහ කරමින් සිටිති.

⁣නිවාස කිහිපයක් මුළුමනින්ම විනාශ වී තිබෙන අතර තවත් නිවාස රැසකට අර්ධ වශයෙන් හානි වී තිබේ. ජීවිත හානි පිළබඳ තවමත් ස්ථිර වාර්තා නොමැත.