පොලිස්පතිට අන්තිම අවස්ථාව දෙයි


මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප‍්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා අවසන් වරට පොලිස්පතිවරයාට කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (06) තීන්දු කළේය.

ඒ අනුව පෙත්සම සම්බන්ධ විරෝධතා දෙසැම්බර් 17 වැනිදාට හෝ ඊට පෙර ගොනු කරන ලෙස පොලිස්පතිවරයාට නියම විය.පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ නයෝමි කරවිට මහත්මිය පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීම සඳහා තවදුරටත් කල් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා ඊට විරෝධය පළ කළේය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා මීට පෙර අවස්ථා කීපයකදීම කල් ලබාදී ඇතත් මෙතෙක් විරෝධතා ගොනු කර නැති හෙයින් කල් ලබාදීමට විරෝධය පළ කරන බව ජනාධිපති නීතීඥ ඉගළහේවා මහතා පැවසීය.