හම්බන්තොට විරෝධතාවය වාර්තා කරමින් සිටි ඩ්‍රෝන කැමරාව අරගනු ලැබුවේ අගමැති ආරක්ෂක අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් බව බත්තරමුල්ල සුහුරුපායේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය විය.
‘පොලිස් මාධ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීමේ මාධ්‍ය සාකච්ඡාව‘ මැයෙන් නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී පොලිසියේ ක්‍රියාකලාපය ගැන මාධ්‍යවේදීහු දිගින් දිගටම ප්‍රශ්න නැගූහ.
වාර්තා කරමින් සිටි ඩ්‍රෝන කැමරාව ගත්තේ ඇයිදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රියන්ත ජයකොඩි මහතා කීවේ විමර්ශනවලදී එය අනාවරණය වනු ඇති බවයි.
මෙම මාධ්‍ය සාකච්ඡාවට නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගී වන බවට ජනමාධ්‍ය වෙත දන්වා තිබුණ ද ඒ දෙදෙනාම ඊට සහභාගී නොවූහ. නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පත් කර ඇතැයි නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා කීවේය.
දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් සැකකරුවකු අත්අඩංගුවට නොගන්නා බවට පොලිස්පති කළ ප්‍රකාශය ගැන තමා විමර්ශනයක් නොකළ බව ද විජේවීර මහතා කීවේය. පොලිසිය බාර අමාත්‍යංශයේ ලේකම් ලෙස එම සිදුවීම ගැන විමර්ශනයක් කිරීමේ වගකීමක් නැතිදැයි මාධ්‍යවේදියකු ඇසූ විට ලේකම්වරයා කීවේ විමර්ශනයක් කරන ලෙස තමාට කිසිවකු නොකී බවයි.
මීට පෙර යම් යම් සිදුවීම් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් කරුණු තරහවුරු කර ගැනීමේ හැකියාව තිබුණද පසුගිය වසරේ සිට එය නවතා දමා තිබිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජයකොඩි මහතා කීවේ දිනකට තුන් වරක් පොලිසියේ සිදුවීම් ඊමේල් මගින් නිකුත් කරන බවයි.
ප්‍රශ්නය - මීට පෙර යම් යම් කරුණු තහවුරු කර ගැනීම් ගැන ඔබට ඇමතුම් ගත් විට ඊමේල් කර තිබෙනවා කියමින් දුරකතනය විසන්ධි කරනවා. ඉදිරියටත් එහෙමද වෙන්නේ?
පිළිතුර - පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය වුණොත් ඒ සඳහා කතා කරන්න. උත්තර දෙන්නම්.
ප්‍රශ්නය - මීට පෙර අජිත් රෝහණ මහතා කිසිදු ගැටළුවක් නැතිව ජනමාධ්‍ය වෙත පැහැදිලි කිරීම් ප්‍රකාශ දුන්නා. එය පොලිසිය හදිසියේ නවතා දැම්මා. නැවතත් වෙන්නේ ඒකමද?
පිළිතුර - කරන්න පුළුවන් හැම අවස්ථාවකම තොරතුරු දෙනවා.
ප්‍රශ්නය - මේ ආණ්ඩුව ආවට පස්සේ පොලිස් මාධ්‍ය සාකච්ඡා නතර කළා. දැනුත් කරන්නේ තෙරතුරු දීම සීමා කිරීම නේද?
පිළිතුර - නෑ අපි මාධ්‍ය සාකච්ඡා තිබ්බා. මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් මත්කුඩු ඇල්ලූ අවස්ථාවෙත් මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා.
ප්‍රශ්නය - පොලිසියට ලකුණු දමා ගැනීමට අවශ්‍ය අවස්ථාවල මාධ්‍ය සාකච්ඡා තිබ්බට ආන්දෝලනාත්මක අවස්ථාවලදී තියන්නේ නෑ නේද? පස්යාලේදි පොලිසිය පුද්ගලයකුට වෙඩි තැබූ අවස්ථාවේ මාධ්‍යය ප්‍රශ්නවලට උත්තර දෙන්න අජිත් රෝහණ මහතා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. යාපනයේ පොලිස් වෙඩි තැබීම ගැන මාධ්‍යයට ප්‍රශ්න අහන්න අවස්ථාවක් දුන්නේ නෑ නේද?
පිළිතුර - දවසකට තෙවරක් අවශ්‍ය තොරතුරු දෙනවා.
ප්‍රශ්නය - වෙනදා පැයෙන් පැයටත් තොරතුරු ඊමේල් කරනවා. ඒ කියන්නේ දැන් ඒකත් කප්පාදු කරලා නේද?
පිළිතුර - නෑ නෑ එහෙම කප්පාදුවක් වෙන්නේ නෑ. මාසෙකින් වගේ බලමු පසු විපරමක් කරලා.
ප්‍රශ්නය - පොලිසියේ අලුත් මාධ්‍ය ප්‍රතිපත්තියේ තිබෙනවා පත්තරවල යන ප්‍රවෘත්තිවලට නිවැරදිකිරීම් එවන එක ගැන. පොලිසියට චෝදනා එල්ල වන ප්‍රවෘත්තියකදි අපි ඒ ගැන කාගෙන්ද අහන්නේ?
පිළිතුර (ජයකොඩි මහතා) - පුළුවන් සීමාව ඇතුළත මම උත්තර දෙනවා.
ප්‍රශ්නය - වෙනත් රාජකාරියක් පවරපු නියෝජ්‍ය පොලිස්පති තුමා මාධ්‍ය ප්‍රකාශක කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් පත් කරන්න පොලිසියේ දක්ෂ නිලධාරීන් නැද්ද?
පිළිතුර - ඉන්නවා ඉන්නවා.
ප්‍රශ්නය - නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් එෆ්සීඅයිඩියේ අධ්‍යක්ෂ මාරු කළේ ඇයි?
පිළිතුර - ඔහුට උසස් වීමක් ලැබුණා. ඒ නිසා වැඩි වගකීමක් ඇති ප්‍රදේශයක් බාරව ගියා. අලුත් අධ්‍යක්ෂ කෙනෙක් පත් කළා.
ප්‍රශ්නය - මේ නිලධාරියා නියෝජ්‍ය පොලිස්පති විදියට උසස් වූ නිසයි මාරු කළේ කියා පොලිස්පති කියා තිබුණා. හැබැයි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහ ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් වුණත් ඔවුන් මාරු කළේ නෑ නේද?
පිළිතුර - එහෙම විශේෂ දෙයක් නෑ. මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට නිලධාරියෙක් පුහුණු කරමින් යනවා. ඒවයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉඳලා තියෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු දැනටමත් ඉන්නවා.
ප්‍රශ්නය - ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස්පතිට නිර්දේශ කර තිබෙනවා හිටපු අධ්‍යක්ෂ තමයි ඒ තනතුරට සුදුසුම නිලධාරියා කියා. එහෙම තියෙද්දි ඇති ඔහු මාරු කළේ?
පිළිතුර - ඒ ගැන වාර්තා වෙලා නෑ.
ප්‍රශ්නය - පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් ලැබීමේ සිදුවීම සම්බන්ධ විමර්ශන කටයුතුවල තත්ත්වය මොකක්ද?
පිළිතුර (විජේවීර මහතා) - මට විශේෂයෙන් විමර්ශනයක් කරන්න කියලා නෑ.
ප්‍රශ්නය - ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් කරලා නැද්ද?
පිළිතුර (විජේවීර මහතා) - මම කරලා නෑ
ප්‍රශ්නය - පොලිසිය භාර අමාත්‍යංශ ලේකම්වරයා ඔබයි. ඔබට වගකීමක් නැද්ද මේ චෝදනා ගැන විමර්ශනයක් කරන්න?
පිළිතුර (විජේවීර මහතා) - විමර්ශනයක් කරන ලෙස මට දැනුම්දීමක් කරලා නෑ.
ප්‍රශ්නය - ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවෙදි කිව්වා නේද විමර්ශනයක් කරන්න අවශ්‍ය බව?
පිළිතුර (විජේවීර මහතා) - විමර්ශනයක් කරන ලෙස මට දැනුම්දීමක් කරලා නෑ.

