ව්‍යාපාරික සියාම් ඝාතනය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ සැකකරුවන් හතර දෙනා හා පළමු වැනි සැකකාර ක්‍රිෂාන්ත කෝරලගේ ඔවුනට පෙනී සිටින නීතීඥයන්ගේ සහාය ප්‍රතික්ෂේප කළේය.
පළවැනි සැකකාර ක්‍රිෂාන්ත කෝරළගේ මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කළේ නීතීඥවරුන් තිදිනකු තමා රඳවා සිටි මැදිරිය ළඟට පැමිණ ‘උඹ ශානිගෙ ගුලිය ගිල්ලා. පස්සේ උඹ ගැන බලා ගන්නම්‘ යනුවෙනි. කෝරලගේ එසේ පැවසුවේ අනුර රණසිංහ නීතීඥවරයා ඔහු වෙනුවෙන් පෙනී සිටීම ගැන විරුද්ධත්වයක් ඇත්දැයි මහේස්ත්‍රාත් ඔහුගෙන් විමසූ අවස්ථාවේදීය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ද මේ නඩුවේ සැකකාරයෙකි.
ඉන් පසු අනුර රණසිංහ මහතා පැවසුවේ රහස් පොලිසිය හා එක්ව මෙම සැකකරුවන් රජයේ සාක්කිකරුවන් කිරීමට යන බවයි.
රජයේ නීතීඥ වසන්ත පෙරේරා පැවසූයේ අනුර රණසිංහ මහතාගේ දීර්ඝ කරුණු දැක්වීම්වලට තමා විරුද්ධ බවයි.
තමුන්ට නීතීඥයන් අනවශ්‍ය බව සැකකරුවන් කියා සිටින හෙයින් ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීමට නීතීඥවරුනට අවසර නැතැයි රජයේ නීතීඥවරයා කරුණු දැක්වීය.
ක්‍රිෂාන්ත කෝරළගේ, මොහොමඩ් ෆවුස්ඩීන්, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, හිටපු උප පොලිස් පරීක්ෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ, හිටපු කොස්තාපල්වරුන් වන ගාමිණී සරත්චන්ද්‍ර ප්‍රියන්ත සංජීව හා කැළුම් රංගන දිසානායක රිමාන්ඩ් භාරයේ සිටි දැඩි මුරකා මැද අධිකරණයට ගෙන එනු ලැබූහ.
සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට පැවසුවේ වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු අත්අඩංගුවට ගැනීමට සොයන බවයි.
ගාල්ලේ හා මිරිහානේ ගෙවල් දෙකක් පරීක්ෂා කළ බව ද ඔහු කීවේය.
මේ අපරාධය සඳහා යොදා ගත් ආයුධය සොයා පරීක්ෂණ පවත්වන බව කී අබේසේකර මහතා සැකකරුවන් ඝාතනය දවසේ ඇඳ සිටි ඇඳුම් ඩීඑන්ඒ ජාන පරීක්ෂණයකට යවන ලෙස ද ඉල්ලා සිටියේය.
ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ගිය වාරයේ නඩුවට නොසිටි නිසා කරුණු අධ්‍යයනය කිරීමට කල් දෙන ලෙසයි. ඒ අනුව අගෝස්තු පළමුවැනිදා තෙක් නඩුව කල් තැබූ මහේස්ත්‍රාත් එතෙක් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කළේය.