පොලිස් සංදේශය


කතරගම සහ හලාවත

  • කතරගම නගරයේ තිබී හමුවූ නාදුනන කාන්තා මළ සිරුරක් දෙබරවැව රෝහලට භාර දී ඇත. වයස අවුරුදු 50 ක් පමණ වේ. තළෙලු, කෙසඟ සිරුරකි. කොණ්ඩය කොටට කපා ඇත. කළු පාට හැට්ටයක් සහ ගුරු පාට මල් සහිත සායක් හැඳ සිටී.
  • හලාවත කල්ලුක්කුලිය වෙරළ තීරයේ තිබී කාන්තා මළ සිරුරක් හමුවිය. වයස අවුරුදු 50 ක් පමණ වන ඇය අඩි හතරහමාරක් පමණ උසැතිය. කොණ්ඩය කොටට කැපූ කෙසඟ සිරුරකි. මෘත ශරීරය හලාවත රෝහලට භාරදී ඇත.

කොටහේන

  • පැරඩයිස් වත්ත ප්‍රදේශයේ සහ බබාපුල්ල ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී හෙරොයින් කුඩු ග්‍රෑම් හතක් සහ පහක් සමග සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගනු ලැබූහ.

ගලෙන්බිඳුනු වැව

  • පුලියන්කුලම සිවලාකුලමේදී විදුලි සැර වැදීමෙන් 37 හැවිරිදි ගැමියෙක් මිය ගියේය. ඔහු දිය නා ගෙට අවුත් තෙත පිටින් කුස්සියේ බල්බය සවිකරද්දී මෙම අනතුර සිදුව ඇත.

කොස්ගොඩ

  • අවුරුදු සාදයකට සහභාගී වී ආපසු නිවසට යමින් සිටි ඉඳුරුව පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු අනාරක්ෂිත ලිඳක වැටී මියගොස් සිටියදී හමුවිය.