පොලිස් වෙඩි කෑ මධුෂ්ගේ ගෝලයාට බරපතළයි


(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, මොරගහහේන කේ. බුද්ධික කුමාරසිරි, අතුරුගිරිය ගුණවතී ඉලංකෝන් මැණිකේ) 


දකුණු පළාතේ ප්‍රබල පාතාල නායකයකු ලෙස සැලකෙන ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු සහ පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් අතර ඔරුවල වානේ සංස්ථාව ආසන්නයේදී ඊයේ (04) දහවල් සිදුවූ වෙඩි හුවමාරුවක දී පොලිස් වෙඩිකා බරපතළ තුවාල ලැබූ පාතාලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මූලස්ථානය කියයි. 

පාතාල සාමාජිකයා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට හානියක් සිදුවී නොමැත. 
පොලිසියට වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය ද එම ස්ථානයේ තිබී පොලිසිය බාරයට ගෙන ඇත. 

මෙලෙස රෝහල්ගත කරන ලද්දේ බණ්ඩාරගම-ගම්මන්පිල ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ අසිත නොහොත් බණ්ඩා (32)  නමැති පුද්ගලයකු බව පොලිසිය කියයි. 

පොලිසි ගණනාවකට අවශ්‍ය කරන පාතාල සාමාජිකයකු ඔරුවල ප්‍රදේශයේ සැරි සරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව දින ගණනාවක් තිස්සේ එම ප්‍රදේශයේ සැරි සරමින් සිදුකළ සෝදිසි කිරීමෙන් අනතුරුව ඊයේ (04) එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා යාමේදී ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි. 

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී බරපතළ තුවාල ලද එම පාතාලයේ අපරාධකරු ඔරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ඔරුවල රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 

එම පුද්ගලයා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 

විදේශගතව සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු වන මෙම පුද්ගලයා රත්නපුර මැණික් ව්‍යාපාරිකයකුට හා ඉකුත්දා මාතර සිදුවූ රන් භාණ්ඩ කොල්ලයේ වෙඩි තැබීමට සම්බන්ධ වූවකු බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වීමෙන් පසු මොහු අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටිය දී මෙම සිද්ධිය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. 

මීට මාසයකට පමණ ඉහත දී මෙම පුද්ගලයා පදිංචිව සිටි බණ්ඩාරගම ගම්මන්පිල නිවස වැටලූ පොලිසිය එහිදී ටී 56 ගිනි අවියක් හා උණ්ඩ ද සොයා ගැනීමට සමත්විය. 

හිසට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලද පාතාල සාමාජිකයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 

අතුරුගිරිය පොලිසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.