පොලිස් නිළ ඇඳුමත් කාලා


නොගැලපෙන පුද්ගලයන් ඇසුරු කිරීම ආදී චෝදනා කිහිපයක් එල්ල වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරයකු ගැන පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය එම පරීක්ෂණ පවත්වන බවත්, දිගින් දිගට පළ වූ මාධ්‍ය වාර්තා එම විමර්ශනයට හේතු වී ඇති බවත් සිරිවර්ධන මහතා පවසයි.

මේ පොලිස් ප්‍රධානියා සම්බන්ධයෙන් පළාතේ පොලිස් ප්‍රධානීන් විසින් පොලිස්පතිට ලිඛිතව දන්වා ඇතැයි ද කියයි.

නොගැලපෙන පුද්ගලයන් ඇසුරු කිරීම, අයහපත් පරිපාලනය, විවිද හේතු දක්වමින් කඩහිමියන්ගෙන් මුදල් එකතු කිරීම, පෞද්ගලික වැඩට පොලිස් සාමාජිකයන් යොමු කිරීම ආදී චෝදනා රැසක් ඔහු වෙත එල්ලවී තිබිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ නොවන ඇමැතිවරයකු ඔහු ආරක්ෂා කරන බවට චෝදනා එල්ල වූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පැවසුවේ විමර්ශනයෙන් පසු වරදක් සිදුවී ඇතැයි ඔප්පු වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

තමාට එරෙහිව මඩ ප්‍රචාරයක් යන බව කියන් එම නිලධාරියා පසුගිය මාසයේ මාධ්‍ය ආයතනයකට හා දේශපාලනඥයන් හමුවීමට ගොස්  ඉහළ පොලිස් නිලධාරියකු පිළිබඳ දැඩි ලෙස විවේචනය කර ඇති බවටත්, එම පොලිස් ප්‍රධානියා ඔහුගේ අයථා ක්‍රියාවන්ට එරෙහිව නිසි පියවර ගැනීම ඊට හේතුව බවත් උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

මේ ස්ථානාධිපති  තමාගේ හිතවකුගේ පෞද්ගලික වැඩට පොලිස් රියදුරයකු යොදා ගත් බවට විමර්ශනයක් ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී එම පෙලිස් රියදුරා වෙනත් ස්ථානයට ස්ථාන මාරු කළැයි ද, ඔහුගේ ක්‍රියාකලාපය ගැන බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද  පොලිස්පතිවරයාට දන්වා ඇතැයි දැනගන්නට ඇත.