පොලිස් අන්තර් කොට්ඨාස මලල කී‍්‍රඩා තරගාවලියේදී ජනාධිපති ආරක්ෂක අංශය සමස්ත ශූරතාව දිනාගනී


බම්බලපිටිය පොලිස් කි‍්‍රඩාංගණයේදී පසුගියදා පැවති 78 වැනි පොලිස් අන්තර් කොට්ටාස මලල කී‍්‍රඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ජනාධිපති ආරක්ෂක අංශය සමත්විය. එහි අනුශූරතාව හිමිකරගත්තේ විශේෂ කාර්ය බළකායයි.

මෙම තරගාවලියේ අවසන් තරගය ලෙසින් පැවති කඹ ඇදීමේ අවසන් මහ තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එක් තරග වටයක් මිනිත්තු 10 කට වැඩි වේලාවක් පැවති මෙම තරගය ජය ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශ කණ්ඩායම සමත්වූයේ විශේෂ කාර්ය බළකා කණ්ඩායම තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්කරමිනි.

පොලිස් කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ සමාප්ති උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා සහභාගීවිය. ඔහුට අමතරව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න යන මහත්වරුද ත්‍යාග ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.

ඡයාරූපය - ශානුක අරවින්ද

කඹ ඇදීමේ තරගය ජයගත් ජනාධිපති ආරක්ෂක අංශ කණ්ඩායම තරගයේ නියැලෙමින්

 

කඹ ඇදීමේ තරගයේ අනුශූරතාව දිනාගත් විශේෂ කාර්ය බළකා කණ්ඩායම තරගයේ නියැලෙමින්