පොල් පැළ රක්ෂණ ක්‍රමයක් එයි


(අංජුල මහික වීරරත්න)

නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබා දෙන පොල් පැළ වසර පහක් යන තුරු අඛණ්ඩව අධීක්ෂණය කරමින්  ආරක්ෂා කිරීම සඳහා  පොල් පැළ රක්ෂණය කිරීමේ ක්‍රම වේදයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හඳුන්වා දී තිබේ.

මෙහිදී රක්ෂණ කාලය දින 15 සිට වසර 1ක් දක්වා වේ. රක්ෂණ වාර මුදල පැළ 1 ක් සඳහා රු.67.50/-වන අතර රක්ෂණ ආවරණය පැළ 1 ක් සඳහා රුපියල් 550 ක් වේ.

පොල් වගා කිරීමේ මණ්ඩලයත්, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස  ක්‍රියාත්මක කරන මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි සුළං, නාය යෑම්, වන අලි හානි, වන සත්ව හානි, අකුණු, පළිබෝධ තත්ත්වයන්ගෙන් පොල් වගාව ආවරණය කරනු ලැබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛ ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් විවිධ වගාවන් සදහා රක්ෂණ යෝජනා ක්‍රම හදුන්වා දෙමින් වගාකරුවන්ගේ අවදානම් කළමනාකරණය  කිරීම නිරන්තරයෙන්ම සිදු කරනු ලබන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්ච් මහතා පැවසීය.