පොදු සමාවෙන් බර ගණනක් ලංකාවට


සෞදි අරාබියේ  කම්කරු අමාත්‍යංශය මගින්  ප්‍රකාශිත පොදු සමා කාලය  උපයෝගී කැර ගනිමින්  සිය මව් බිමට යාමට සුදානමින් සිටින අවතැන් වු ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් පසුගිය14 වැනිදා  දමාම් ඇස්ටුන් රෝහල ඉදිරිපිට පිහිටි  යෝජිත ශ්‍රී ලංකා  ජාත්‍යන්තර  පාසැලේදී පැවැත් වු  විශේෂී ජංගම පරීක්ෂාවට පැමිණ සිටියහ.

 සෞදියේ  නව ශ්‍රී ලංකා තානාපති  වඩිවෙල් ක්‍රිෂ්ණමුර්ත්‍රී  මහතා සෞදි අරාබියට පැමිණ  සති දෙකක් ගත වීමටත් ප්‍රථම  වෙන වරටත්  නැගෙනහිර කළාප තානාපති  ජංගම සේවයට පැමිණ  අවතැන් වු ශ්‍රී ලාංකික  ප්‍රජාවේ ඕනෑ එපා කම් සොයා බැලීය.

 ජුලි මස 3 වැනි දිනට අවසන් වන පොදු සමා කාලයට  සමගාමීව  නව  ගමන් බලපත්‍ර හා  තාවකාලික ගමන් බලපත්‍ර  නිකුත් කිරීමද  මෙදින සිදු වු අතර   නැගෙනහිර පළාත් තුළ  ශ්‍රී ලාංකිකයින් දහදාහකට අධික ප්‍රමාණයක්  ශ්‍රී ලංකාව බලා යාම පිණිස ලහි ලහියේ  සිය ලිපි ලේඛන  සුදානම් කරමින්  සිටින අයුරු දකින්නට ලැබිණි.

 කෙසේ වුවද පැමිණ සිටි  අවතැන් වුවන්ගෙන් ඉතා සුළුතරයක්  නැවත සෞදි අරාබියේ  රැදී සිටීමෙන්  වෙනත් ආයතනයකට හෝ   හාම්පුතුන් වෙත මාරු කැර ගැනීමට උත්සාහ දරමින් සිටින  බවත්  දැනගන්නට හැකි විය.

 මේ අතර  නැවත වෙනත් ස්ථාන වෙත මාරුකරමින්  රැකියාවක් කිරීමට උත්සාහ  දරණ  ශ්‍රී ලාංකික කතුන් වෙත  තානාපති කාර්යාල බලධාරීන්  අවවාද කරමින්  ප්‍රකාශ කැර සිටියේ  මෙවැනි පොදු සමා කාලය මගින්  ශ්‍රී ලාංකිකයින් හට  උපරිම ප්‍රයෝජන  ගතයුතු බවත්  ශ්‍රී ලංකාවට නොගොස්  වෙනත් ස්ථානයකට මාරුකැර ගැනීමට  ප්‍රථම දෙවරක්  සිතා බැලිය යුතු බවත්  කබලෙන් ලිපට වැටීමේ  ඇති හැකියාව  ඉතා වැඩි බවත්  නැවත කුමනහෝ ගැටළුවක් මත  අවතැන් වුහොත්  ඒ පිළිබඳව  තානාපති කාර්යාලයයට නීතිමය  කටයුතු කිරීමට ඇති හැකියාව  ඉතා අල්ප බවත්  පැවැසීය.

 වැඩි දුරටත් කරුණු දැක්වු  තැනාපති කාර්යාලයයේ  උසස් නිලධාරියකු  පැවැසුවේ යම්  යම් කණ්ඩායම්  හෝ  පුද්ගලයින්  විසින් ශ්‍රී ලාංකික කතුන් විවිධ  විවිධ පුද්ගලයින් වෙත  බලහත්කාරයෙන්  තව දුරටත් රැකියාව යෙදවීමේ  සුදානමක්  පිළිබඳව  ආරංචි ලැබී ඇති බැවින්  එවැනි කූට උපක්‍රම  වලට හසු නොවී තමා   සුදානම් වු ගමන යාමට  උනන්දුවීම  නුවණට හුරු බවත්  යම් කිසි පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින්  ශ්‍රී ලාංකිකයින්  විවිධ පුද්ගලයින්  වෙත භාර දීමත්  බලහත්කාරයෙන්  රැකියාවේ යෙදවීමට කටයුතු කිරීම  නීතී විරෝධි  බවත්  එවැනි පුද්ගලයින්  පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබද ව  තානාපති කාර්යාලයය දැනුම්වත්  කරන ලෙසද ඉල්ලා සිටින ලදී.

 කෙසේ වුවද  දැනටමත් විශාල පිරිසක්  දිගු පෝලීම් වල හිදිමින්  ආගමන විගමන කාර්යාලය වල රැදී සිටිමින්  පිටවිමේ විසා  බලාපොරොත්තුවෙන්  සිටින බවද දැනගන්නට ඇත.