පේරාදෙණි සරසවි සිසුවෙක් අතුරුදහන්


(ජේ.ඒ.එල්. ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තුන්වැනි වසරේ ශිෂ්‍යයකු අතුරුදන්වී ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි.

අම්පාර සේරුගම වැරැන්කැටිගොඩ පදිංචි මෙම සිසුවා එම විශ්වවිද්‍යාලයේ අක්බාර් නේවාසිකාගාරයේ රැඳී සිට ඇති අතර ඔහු එහි නොමැති බවට එම නේවාසිකාගාරයේ උප ශාලාධිපතිවරයා පේරාදෙණිය පොලීසියට පෙරේදා (21) පැමිණිලි කර ඇත.

අතුරුදන් වූ බවට සැක කෙරෙන සිසුවාගේ ජංගම දුරකථනයට විශ්විවද්‍යාලයේ විනයාරක්‍ෂක නිලධාරියකු ඇමතුමක් ගෙන ඇති අතර තමන් කුරුණෑගල ප්‍රදේශයේ සිටින බව ඔහු එම අවස්ථාවේ පවසා ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත.

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විජිත විජේකෝන් මහතාගේ මෙහෙයවීම මත පේරාදෙණිය පොලිසිය හා පේරාදෙණිය විශ්වවිද්‍යාල ආරක්‍ෂක අංශය පරීක්‍ෂණ පවත්වයි.