(විමල් කීර්තී)
පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගියට අයට සහ වින්දිතයින්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා පැවැත්වන උද්ඝෝෂණය තහනම් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දැමු මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා පොලිසියේ උපකල්පනය අනුව තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවහොත් ඉන් මුලික මිනිස් අයිතිවාසිකම් කඩවීමට ඉඩ ඇතැයි පෙන්වා දුනනේය.
පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගියට අයට සහ වින්දිතයින්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා පැවැත්වන උද්ඝෝෂණය ප්‍රචන්ඩකාරී වීමට හැකියාව ඇතැයි උපකල්පනය කරන හෙයින් එම උද්ඝෝෂණය තහනම් කරන්නැයි දීර්ඝ නිරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් මීගමුව පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ මීගමුව මුලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා කළ ඉල්ලීම ඉවත දමමින් මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඒ බව පෙන්වා දුනනේය.
මීගමුව පොලිස් අධිකාරීවරුන් වන එරික් පෙරේරා සහ නාලක සේනාරත්න මීගමුව මුලස්ථාන පොලිස් පරීක්‍ෂක ඉන්දික උදයංග යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ දීර්ඝ නිරීක්‍ෂණ වාර්තාවකට අනුව මෙම පැමිණීල්ල කැඳවන ලදී.
පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගියට අයට සහ වින්දිතයින්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා අගරදගුරු අතිගරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මුලිකත්වයෙන් හෙට (21) උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇතැයි දීර්ඝ නිරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ආගමික මුහුණුවරින් මුලින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය සඳහා සමගි ජන බලවේගය සහ වෘත්තීයය සමිති එකමුතුවක් එක්ව ඇතැයිද ඉන් මෙම උද්ඝෝෂණයට දේශපාලන මුහුණුවරක් ලැබී ඇතැයිද දැනුම් දුන් පොලිසිය ඉන් මෙම උද්ඝෝෂණය ප්‍රචන්ඩකාරී තත්වයකට පත්වන බව නිරීක්‍ෂණ වලින් තොරතුරු ලැබී ඇතැයිද වැඩිදුරටත් දැනුම් දුන්නේය.
මෙම උද්ඝෝෂණය සඳහා යොදා ගන්නා මීගමුව මහ නගර සභා පිට්ටනිය විශාල ජනකායක් රැඳවීමට ඉඩ ඇති තැනක් නොවන බවත් ඉන් මහා මාර්ග අවහිර වී මහජන දේපළ වලට හානි වීමට ඉඩ ඇති බවත් පෙන්වා දුන් පොලිසිය මහජනතාවගේ සාමකාමී ජීවීත ආරක්‍ෂා කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 106 (01) යටතේ එම උද්ඝෝෂණය තහනම් කිරීමේ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
දීර්ඝ නිරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කරමින් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 සහ 14 වගන්ති අනුව මහජනතාවට සාමකාමීව එක්රැස්වීමට හා අදහස් ප්‍රකාශ කිරීමට අයිතිවාසිකම් ලබා දී ඇතැයි පොලිසියට පෙන්වා දුන්නේය.
එක්රැස්වීමට අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනතාවට ලබා දී ඇති අයිතිය පොලිසිය උපකල්පනය කරන සිද්ධීන් මත පිහිටා තහනම් කිරීමට අධිකරණයට හැකියාව නැති බවත් එවැනි තහනම් නියෝගයක් දීම මහජනතාවගේ මුලික අයිතිය කඩකිරීමක් විය හැකි බවත් තීන්දු කළ මහෙස්ත්‍රාත්වරයා උද්ඝෝෂණය තහනම් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දැමුවේය.
උද්ඝෝෂණයේදී යම් ලෙසකින් සාමය කඩවන ආකාරයට හෝ ප්‍රචන්ඩ ලෙස යමෙකු කටයුතු කරනු ලැබුවහොත් පොලිස් ආඥා පනත යටතේ ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය පොලිසියට ඇති බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා ඒ අනුව කටයුතු කරන ලෙස ඔවුන්ට නියම කළේය.

