පෙලිකන්ස් පිලෙන් සොලිඞ්ට අනපේක්ෂිත ප‍්‍රහාරයක්


පෙරළිකාර ජයග‍්‍රාහන ලබා ගනිමින් අපරාජිතව ඉදිරියට එමින් සිටි අනුරාධපුර සොලිඞ් කණ්ඩායමට එරෙහිව අනපේක්‍ෂිත ප‍්‍රහාරයක යෙදුණු කුරුණෑගල පොලිකන්ස් කන්ඩායම මාළිගාපිටියේදී පැවැති අන්තර් සමාජ ශූරයන්ගේ ලීග් තරගාවලියේදී ගෝල 2.1ක ජයග‍්‍රාහකයන් වාර්තා කළේය.
ඒ වනවිට තරගාවලියේ ”බී” පෙරමුණ ගෙන පසුවූ සොලිඞ් ක‍්‍රීඩකයෝ තරග හයකින් හතරක් ජය ගෙන තිබුණි.

මේ අතර අප්කන්ටි‍්‍ර ලයන්ස් පිලට එරෙහිව වෙන්නප්පුව නිව්යංග් කණ්ඩායම ගෝල 2.0ක පහසු ජයක් ලැබීය. වෙන්නප්පුවේදී පැවැති මෙම තරගයේදී නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවූ බවද වාර්තාවේ. අප්කන්ටි‍්‍ර ක‍්‍රීඩකයන් විනිසුරු තිරණවලට අප‍්‍රසාදය පළ කරමින් හැසිරීමේදී ඔවුන්ට විනිසුරුවරයා දැඩි අවවාද හැඟවෙන කහ කාඞ්පත් හතරක් දී තිබේ. එහිදී නිව්යංග්ස් ක‍්‍රීඩකයෙකුද කහ කාඞ්පත ලබා තිබේ. අප්කන්ටි‍්‍ර එක් ක‍්‍රීඩකයකුට තරගය නිමවීමෙන් පසු පිටියෙන් ඉවතට පැමිණෙමින් සිටියදී විනිසුරු වෙතින් රතු කාට්පත ලැබූ බවද වාර්තාවේ.

කෙසේ වුවත් තරගයේ සත්කාරක ක‍්‍රීඩා සමාජයවන නිව්යංග්ස් ක‍්‍රීඩා සමාජය අප්කන්ටි‍්‍ර ලයන්ස් කණ්ඩායමේ හැසිරීම් සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළ කරමින් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ලිපියක් යොමුකර තිබේ.

නිව්යංග්ස් කී‍්‍රීඩා සමාජ සභාපති රෝහිත ප‍්‍රනාන්දු මහතා පැවසුවේ සිය ක‍්‍රීඩා සමාජ ආධාරකරුවන්ගේ ඉවසීම නිසා එදින තරගයේ ඇතිවන්නට ගිය ගැටුම්කාරී තත්ත්වයක් වළක්වා ගත් බවය.

තරගය නැරඹීම සඳහා අප්කන්ටි‍්‍ර ලයින්ස් ආධාරකරුවන් රැුසක්ද වෙන්නප්පුව ඇල්බට් ඔෆ්පීරිස් පිටියට පැමිණ තිබුණි.

තරග ප‍්‍රතිඵල :

  • කුරුණෑගල පොලිකන්ස් පිල විසින් අනුරාධපුර සොලිඞ් පිල පරාජය කරන ලදී (2.1)
  • යුද හමුදා පිල විසින් පොලිස් පිල පරාජය කරන ලදී (3.1)
  • ජාවාලේන් පිල විසින් මීගමුව යූත් පිල පරාජය කරන ලදී (2.0)
  • රිනවුන් පිල විසින් මීගමුව දොන් බොස්කෝ පිල පරාජය කරන ලදී (2.1)
  • වෙන්නප්පුව නිව්යංග්ස් පිල විසින් නාවලපිටිය අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල පරාජය කරන ලදී (2.0)
  • නාවික හමුදා පිල විසින් රත්නම් පිල පරාජය කරන ලදී (2.0)
  • කොළඹ සිටි පිල විසින් මාතර ක‍්‍රී.ස. පිල පරාජය කරන ලදී (4.1)
  • ගුවන් හමුදා පිල විසින් කළුතර බ්ලූස්ටාර්ස් පිල පරාජය කරන ලදී (1.0)
  • සෝන්ඩස් පිල විසින් බේරුවල සුපර්සන් පිල පරාජය කරන ලදී (4.0)
  • සිවිල් සේවා පිල විසින් කළුතර පාක් පිල පරාජය කරන ලදී (3.2)